2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට අපේක්ෂිත, එහෙත් මෙතෙක් ජාතික හැඳුනුම්පත ලබාගෙන නොමැති පෞද්ගලික අයදුම්කරුවන්ට තම භාරකරුගේ හැඳුනුම්පත් අංකය භාවිතයෙන් විභාගය සඳහා ලියාපදිංචි විය හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, පාසල් අයදුම්කරුවන් සඳහා ද ඊට අදාළ විශේෂ උපදෙස් මාලාවක් මේ වන විටත් විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇති බවයි අද (15) පස්වරුවේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ජූලි 23 වැනිදා දක්වා මාර්ගගතව සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුණා.
මේ වන විටත් ජාතික හැඳුනුම්පත ලබාගෙන නොමැති අයදුම්කරුවන් හට නියමිත දිනට පෙර විභාගය සඳහා අයදුම් කිරීමට ජාතික හැඳුනුම්පත ලබාගෙන නොතිබීම බාධාවක් නොවන බවත්, සියලුම අයදුම්කරුවන් විභාග නිවේදනයේ ලබා දී ඇති උපදෙස් පරිදි 2026 ජූලි 23 දිනට පෙර විභාගය සඳහා අයදුම් කරන ලෙසත්, කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.




