වයඹ පළාත් පාසල් දෙවැනි වාර විභාගය කල් දැමීම හරහා දරුවරුන්ට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් රජය සොයා බැලිය යුතු බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසනවා.
වයඹ පළාත් පාසල් දෙවැනි වාර විභාගය ජූලි මස 09 වෙනිදා ආරම්භ කර තිබූ අතර, හයේ සිට නවය දක්වා ශ්‍රේණිවල විභාග ජූලි 17 වැනිදා දක්වාත්, 10 සහ 11 ශ්‍රේණි සඳහා විභාග කටයුතු ජූලි 20 වැනිදා දක්වාත් පැවැත්වීමට සැලසුම් කර තිබූ බවයි සඳහන් වන්නේ.
කෙසේ නමුත්, වාර පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කර බෙදා හරින ආයතනය එම ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු පත්‍ර කොට්ඨාස කාර්යාල වෙත ලබා දීමට නියමිතව තිබුණේ ජූලි මස 06 වැනිදා වන අතර, නමුත් විභාග කාලසටහනේ මුල් දින හතරට අදාළ ප්‍රශ්න පත්‍ර පමණක් ඔවුන් විසින් ලබා දී තිබූ බවයි වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ මුදිතා ජයතිලක සඳහන් කරන්නේ.
මුද්‍රණ ආයතනය විසින් 15 සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු පත්‍ර ජූලි 19 වැනිදාට පෙර ලබා දීමට නොහැකි බවට තමාට ලිඛිතව දැනුම්දීම හේතුවෙන්, ඊයේ සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ වාර විභාග තාවකාලිකව අත්හිටුවා, ඉතිරි ප්‍රශ්න පත්‍ර ලැබුණු පසු විභාගය නැවත ජූලි 21 වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් සොයා බලා ඔවුන්ට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අදාළ මුද්‍රණ ආයතනය වගකීමෙන් තොරව කටයුතු කර ඇති බවයි.




