තමන්ගේ සේවය තහනම් කිරීමට ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න විසින් කතානායකවරයා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර තිබෙන රිට් පෙත්සම, කරුණු තහවුරු කිරීම සඳහා ජූලි මස 20 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
ඒ අනුව, මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින්, තමන් මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට සූදානම් බව සඳහන් කළා.
එම අවස්ථාවේදී, අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින කතානායකවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනගීශ්වරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම පෙත්සම පවත්වාගෙන යාමට තිබෙන හැකියාව සම්බන්ධයෙන් තමන් අධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කරන බව සඳහන් කළා.
සෙසු වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින බිමල් රත්නායක සහ අනිල් ජයන්ත යන අමාත්‍යවරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් සහ තවත් වගඋත්තරකරුවකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චාමර නානායක්කාරවසම් ද කරුණු ප්‍රකාශ කළ අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජූලි මස 20 වැනිදා කැඳවන ලෙස නියම කළා.
කිසිදු සාධාරණ විමර්ශනයක් නොපවත්වා තම වැඩ තහනම් කිරීමට කතානායකවරයා විසින් ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත්, එම තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.



