Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

2019 පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන්, එක්සත් ජනපද විමර්ශනයට අදාළ සියලු තොරතුරු ලබාගන්නා ලෙසට එක්සත් ජාතික පක්ෂය විසින් රජයෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව, පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් වන පරීක්ෂණ නැවත ආරම්භ කර ඇති පසුබිමක, රජය අදාළ තොරතුරු එක්සත් ජනපද බලධාරීන්ගෙන් විධිමත් ලෙස ඉල්ලා තිබේදැයි නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය ප්‍රශ්න කර සිටිනවා.

එවැනි ඉල්ලීමක් රජය කර ඇත්නම් එක්සත් ජනපදයෙන් ලැබුණු ප්‍රතිචාරය හෙළි කළ යුතු බවත්, එක්සත් ජනපද විමර්ශනය හරහා ලබාගත් සියලුම විමර්ශන තොරතුරු ශ්‍රී ලංකා අධිකරණ බලධාරීන්ට ලබාගත යුතුව ඇති බවත් එම පක්ෂය අවධාරණය කර තිබෙනවා.

2019 අප්‍රේල් 21 වන දින ප්‍රහාර සම්බන්ධයෙන්, එවක අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ විසින් සම්පූර්ණ එක්සත් ජනපද විමර්ශනයක් සහ වාර්තාවක් ඉල්ලා සිටි අතර, ශ්‍රී ලංකා බලධාරීන්ගේ පූර්ණ සහයෝගය සහතික කරමින් මෙම ඉල්ලීම සිදු කළ බව අදාළ නිවේදනයේ සඳහන් වනවා.

අනතුරුව, රනිල් වික්‍රමසිංහ සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති දුරකථන සංවාදයකදී ද එවැනිම ඉල්ලීමක් සිදු කළ බවත්, ඒ අනුව ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI), අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව, හමුදා බුද්ධි අංශ සහ රාජ්‍ය බුද්ධි අංශ ඇතුළු ශ්‍රී ලංකා ආයතන සමඟ සහයෝගයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කර, පසුව ශ්‍රී ලංකා රජයට වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් එහි දැක්වෙනවා.

2020 නොවැම්බර් 12 වන දින, FBI විශේෂ නියෝජිත මෙරිලි ආර්. ගොඩ්වින් විසින් කැලිෆෝනියා අධිකරණයේ ගොනු කරන ලද පිටු 71 ක දිවුරුම් ප්‍රකාශයක් මෙන්ම, 2020 දෙසැම්බර් 11 වන දින ලොස් ඇන්ජලීස් අධිකරණයේ අපරාධ නඩුවක් ගොනු කර ඇති බවත්, නඩුවේ නම් කර ඇති සැකකරුවන් කිහිප දෙනකු ඒ වන විටත් ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවූ බවත්, එම වැදගත් තොරතුරු එක්සත් ජනපද විමර්ශන අංශ සහ අධිකරණ දෙපාර්තමේන්තුව සතුව පවතින බවත් එක්සත් ජාතික පක්ෂය වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.