Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් 'ගම්පහ ඔස්මන්ඩ්' නමැත්තා තවදුරටත් රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන සිදු කරන බව, කොළඹ අපරාධ කොට්ඨාශය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ කැඳවා තිබුණා.

සෝදිසි වරෙන්තුවක් ලබාගෙන ඔස්මන්ඩ් ගුණසේකර නමැත්තාගේ නිවස හා භූමිය පරීක්ෂා කළ අවස්ථාවේදී එහි තිබී ලේඛන කිහිපයක් හමු වූ බවත්, ඒ අතර 'කෙහෙල්බද්දර පද්මේ' නමැත්තාගේ රතු නිවේදනය තිබූ බවත් පොලීසිය සඳහන් කළා.

එමෙන්ම ගනේමුල්ල සංජීව නමැත්තාට එරෙහිව තිබූ නඩු, දැනට පවතින නඩුවල විස්තර, ඔහු ආශ්‍රය කළ පුද්ගලයින් සහ දුරකථන අංක සම්බන්ධයෙන් ද ලේඛනයක් ඒ අතර තිබී හමු වූ බව පෙන්වා දුන් පොලීසිය, මේ තුළින් ගනේමුල්ල සංජීව නමැත්තාගේ ක්‍රියාකාරකම් පිළිබඳව මෙම සැකකරු අවදියෙන් සිට ඇති බව පැහැදිලි වන බවත් සඳහන් කළා.

ඔහුගේ නිවාස භූමියේ තිබී ලියාපදිංචි නොකළ යතුරුපැදියක් සහ ගිනි අවියක් හමු වූ බවත්, ඒවා පිළිබඳව ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන බවත් පොලීසිය පැවසුවා. 

ඊට අමතරව, මෙම සිද්ධියේ සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය තවදුරටත් දින 30ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගෙන තිබෙන බව ද පොලීසිය සඳහන් කළා.

මෙහිදී සැකකාර ඔස්මන්ඩ් ගුණසේකර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත් සිරිවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින්, කොළඹ අපරාධ කොට්ඨාශයේ රඳවාගෙන සිටින සිය සේවාදායකයා හමුවීමට තමන් ගිය අවස්ථාවේදී ඊට අවසර නොලැබුණු බව ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් එම චෝදනාව ප්‍රතික්ෂේප කළා.

මේ සම්බන්ධයෙන් විමසීම සඳහා මීළඟ නඩු දිනයේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාට අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියම කළ අතර, ඉන් අනතුරුව මෙම පැමිණිල්ල ලබන 26 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.