DNA පරීක්ෂණයක් සඳහා ජූනි මස 16 වන දින රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ගොස්, තම රුධිර සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබාදෙන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න විසින් හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට අද (12) නියෝග කර තිබෙනවා.
ඒ අනුව, එම හිමිනම සිය රුධිර සාම්පල ලබාදීමෙන් අනතුරුව සිදුකරන DNA පරීක්ෂණයේ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.
නිට්ටඹුව පොලිසිය වැඩිදුර වාර්තාවක් මඟින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින්, ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කර තිබෙනවා.
එහිදී වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් නිට්ටඹුව පොලිසිය අධිකරණයට කියා සිටියේ, අධිකරණ නියෝගයකට අනුව 2026 මැයි 04 වන දින රජයේ රස පරීක්ෂකවරයා වෙත DNA පරීක්ෂණයක් සඳහා යවන ලද, දැරිය විසින් වළ දමා සඟවා තිබියදී සොයාගත් රුධිරය තැවරුණු බවට සැක කෙරෙන ඇඳුම් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බවයි.
ඒ අනුව, නඩු භාණ්ඩ ලෙස නම් කර ඇති එම ඇඳුම් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා DNA පරීක්ෂණයක් පවත්වා ඇති බව ද පොලිසිය අධිකරණයට කියා සිටියා.
දැරියගේ ඇඳුම්වල "DNA ඇලීල අන්තර්ගතව ඇති බව" DNA පරීක්ෂණයේදී තහවුරු වී ඇති බවට රජයේ රස පරීක්ෂක වාර්තාව මඟින් අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඒ අනුව, අදාළ DNA ඇලීල සමඟ සැසඳීමට සැකකාර හිමිනමගේ රුධිර සාම්පල ලබා ගැනීමට අවශ්‍ය බව අධිකරණයට පවසා සිටි පොලිසිය, ඒ අනුව රජයේ රස පරීක්ෂකවරයා වෙත රුධිර සාම්පල ලබාදෙන ලෙසට සැකකාර හිමිනමට නියෝග කරන ලෙස ඉල්ලා සිටියා.
එමෙන්ම දැරියගේ ඇඳුම්වල අඩංගු DNA ඇලීල සමඟ සැකකාර හිමිනමගේ රුධිර සාම්පල ගැළපේ ද යන්න අනාවරණය කර ගැනීම සඳහා සිදුකෙරෙන DNA පරීක්ෂණයේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කරන ලෙස ද පොලිසිය තවදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.



