මාලිමා ආණ්ඩුව හොඳ නැත්නම්, තමාට බලය දෙන ලෙස ඉල්ලා, විවිධ ස්වරූපවලින් අතීතයේ මේ රට බංකොලොත් භාවයට රැගෙන ගිය බංකොලොත් දේශපාලන පක්ෂ හා දූෂිත චෞර වළලු ගණනාවක් දැන් සූදානම් වෙමින් සිටිනා බව පෙනෙන්නට ඇති බව බලංගොඩ කස්සප හිමියන් පවසනවා.
රට බෙදුම්වාදය කරා රැගෙන යන, LTTE ත්‍රස්තවාදයට පණපොවන, මෙරට ඉන්දියානු යටත් විජිතයක් බවට පත් කරන්නට නියමිත මාලිමා ආණ්ඩුව 'ගෙදර යැවිය යුතු' බව නිශ්චිත වුවත්, මාලිමා ආණ්ඩුවට පසුව බලය ලබාදිය යුත්තේ ඊට වඩා සිය දහස් ගුණයකින් පිරිසිදු දේශපාලන ප්‍රවාහයකට වන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ.
එසේ නොමැතිව, නැවතත් රට අරාජික යුගයකට ගමන් කරවන්නට නියමිතව ඇති දේශපාලන පක්ෂවලට බලය ලබාදිය යුතු නොවන බවයි උන්වහන්සේ පවසන්නේ.
වත්මන් ආණ්ඩුවේ යම් ආකාරයකට ප්‍රගතිශීලි දේවල් ඇති බවත්, පැරණි ආකාරයෙන් සයිරන් නාද කරමින්, මාර්ග වසා දමමින්, විශාල පිරිසක් සමගින් දේශපාලකයන් ගමන් කරන සංස්කෘතිය අවසාන වී ඇති බව තමන් උතුරු නැගෙනහිර පළාත්වල වැඩ කටයුතු කරද්දී දුටු බවත් බලංගොඩ කස්සප හිමි සඳහන් කර සිටියා.
වර්තමාන ආණ්ඩුවේ මැති ඇමති කාර්ය මණ්ඩලවල පුද්ගලික ඥාතීන් සේවය කරන බවක් නොදකින බවත්, මාලිමා ආණ්ඩුවේ හොඳ දෙයක් ඇති නම්, එය හොඳක් ලෙස පැවසිය යුතු බවයි උන්වහන්සේ දක්වා සිටියේ.
76 වසරක් පුරා රටේ සංස්කෘතිය විනාශ කළ, නැවත වටයකින් සුදු පිරුවට ඇඳගෙන බලය ඉල්ලන අයට 'නිවැරදි වී' පැමිණෙන ලෙසට කරුණාවෙන් ඉල්ලා සිටින බවත්, දේපළ සූරා කමින් පුද්ගලික ධනය ගොඩ ගසා ගත් එවැනි පුද්ගලයින්ට නැවත වරක් බලය ලබාදීමට ජනතාව සූදානම් නොමැති බවයි බලංගොඩ කස්සප හිමියන් වැඩිදුරටත් පවසා සිටියේ.



