Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

2026 ජගත් පරිසර දින ජාතික සැමරුම ‘දේශගුණ විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් පෙළගැසෙමු’ තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

2026 ජගත් පරිසර දින ජාතික සැමරුමට සමගාමීව මැයි 30 වැනිදා සිට ජූනි 05 වැනිදා දක්වා පරිසර සතියක් ප්‍රකාශයට පත් කරමින් “Clean SriLanka” වැඩසටහන ප්‍රමුඛ රාජ්‍ය, පෞද්ගලික සහ ස්වේච්ඡා සංවිධානවල දායකත්වයෙන් දිවයින පුරා විවිධ පාරිසරික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණා.

එමෙන්ම, මෙවර ජගත් පරිසර දින සැමරුමට සමගාමීව රිටිගල, අලියාවැටුණුවැව, මුලාගල, කෝන්කැටියාව සහ කල්ලංචිය  යන වනාන්තර පහම, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කිරීම ද මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

වැඩිදියුණු කරන ලද ජාතික හරිත වාර්තාකරණ මාර්ගෝපදේශ හඳුන්වා දීම, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව මගින් මාගම වැලිකඳු වැටිය බලපෑමට යටත් වන ප්‍රදේශයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අලිමංකඩ නිදහස් කිරීම, කුඩා බුබුල දිය උල්පත හා කපුරැල්ල උණුදිය තෙත්බිම රක්ෂිත බවට ප්‍රකාශයට පත් කිරිම ද මෙහිදී සිදු කෙරුණා.

“සොබා” පාරිසරික සඟරාව 2026 පළමු කලාපය, “සොබා කෙත” පාරිසරික සඟරාව සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ සම්පත් පොත එළිදැක්වීම ද මෙහිදී සිදු කර තිබෙනවා.

මෙවර ජාතික පරිසර දින සැමරුම කාබන් ශුන්‍ය වැඩසටහනක් ලෙස ඉටු කළ බවට වන සහතිකය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද සිදුවුණු අතර, දේශගුණික විපර්යාස අංශය විසින් සංවිධානය කරන ලද චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානයට සහ ජගත් පරිසර දින තේමාව යටතේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් පවත්වන ලද පරිසර හිතකාමී නව නිපයුම් සහ නිර්මාණවල ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය කිරීමට ද ජනාධිපතිවරයා එක් වු බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.