2029 ජනාධිපතිවරණ අපේක්ෂකයන් අතරට තමාගේ නමද ඇතුළත් වීමට බැරිකමක් නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසනවා.
ඒ සඳහා වන විශ්වාසය තමා තුළ ඇති බවත්, නමුත් එම අපේක්ෂකත්වය තීරණය කළ යුත්තේ මහජනයා විසින් බවයි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ.
තමා ජනාධිපති වුවවොත්, වර්තමානයේ ගමන් කරන මාර්ගයේ නොයන බව නිසැකවම කිව හැකි බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මත තීරණය වන ගමනක නොයන බවත් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරනවා.
එහිදී තමා උපාය මාර්ගිකව බ්‍රික්ස් (BRICS) හවුල සමග සිටගන්නා බවද, භයක් නොමැතිව චීනය, රුසියාව හා ඉන්දියාව සිටින එම කඳවුර සමග සිටගන්නා බවද, මෙරට ණය බර ඔවුන්ගේ සහයෝගයෙන් කළමනාකරණය කර ගනිමින්, වෙනස් ආකාරයේ නව උපායමාර්ගික මගකට මේ රට හරවන බවද ඔහු ප්‍රකාශ කර සිටියා.
රටට නායකයෙක් අවශ්‍ය වන්නේ එය සිදු කිරීමට පමණක් බවත්, 'මේ පාරේම යන්නට' රනිල් හා අනුර පැමිණි බවත්, හෙට සජිත්, නාමල් එනු ඇති බවත්, ඒ කවුරු පැමිණියත් යන්නට සිදුවන්නේ මේ පාරේ නම් 'සොරි ඩොට්කොම්' බවයි හිටපු මන්ත්‍රීවරයා පවසන්නේ.
'අපි යන්නේ කොයි පාරේ, කජු සීයා ගිය පාරේ' යන්න අනුර කුමාර දිසානායකගේ සටන් පාඨය වී ඇති බවයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.



