රථවාහන වැරදි සිදු කරන රියැදුරන් CCTV දර්ශන මඟින් හඳුනාගත් බව පවසමින්, ශ්‍රී ලංකා පොලීසිය විසින් යොමු කරන ලද පණිවිඩ බව හැඟවෙන ආකාරයට මේ දිනවල රියැදුරන්ට ව්‍යාජ දුරකථන අංක කිහිපයකින් SMS හා WhatsApp පණිවිඩ යොමු කිරීමේ සිදුවීම් වාර්තා වී ඇති බව පොලීසිය පවසනවා.
මෙලෙස යොමු කරන පණිවිඩය කියවීමෙන් පසුව, අදාළ වැරදි සඳහා දඩ මුදල් ගෙවීමට https://thecourierguy.cu.cc/lk දරන ව්‍යාජ වෙබ් අඩවියට පිවිසෙන ලෙසට එම වංචාකාරී පණිවුඩ මගින් දන්වා සිටින බවත්, එම වෙබ් අඩවියට පිවිසෙන රියැදුරන්ගේ Credit Cards තොරතුරු ඇතුළු වෙනත් රහස්‍ය දත්ත, දඩ මුදල් ගෙවීමේ පියවර ඔස්සේ ඉතා සූක්ෂමව ලබා ගැනීමට වංචාකරුවන් විසින් කටයුතු කර ඇති බවත් පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
ගෙවීම් කටයුතු සිදු කිරීමේ පහසුව සඳහා රජය නිර්මාණය කර ඇති GovPay වෙබ් අඩවියට සමාන වන අයුරින් ඉහත වෙබ් අඩවිය සකස් කර ඇති අතර, මෙය මහජනතාව නොමඟ යැවීමේ අරමුණින් සම්පූර්ණයෙන්ම ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද වෙබ් අඩවියක් බවයි පොලීසිය සඳහන් කරන්නේ.
මෙම වංචාකාරී සිදුවීම නිසා ශ්‍රී ලංකා පොලීසියේ කීර්ති නාමයට සහ මහජන විශ්වාසයට දැඩි හානියක් සිදු විය හැකි බව නිරීක්ෂණය වන අතර, එම නිසා ව්‍යාජ SMS හා Whatsapp පණිවිඩවල සඳහන් සබැඳි (Links) වෙත පිවිසීමෙන් වළකින ලෙසත්, රථවාහන වැරදි සම්බන්ධයෙන් ලැබෙන මෙවැනි පණිවිඩ පිළිබඳ ඉතා අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
අදාළ නිවේදනය පහතින්.




