Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

මෙනින්ජිටිස් රෝගී තත්ත්වය පැතිරීම පාලනය සහ වැළැක්වීම පිළිබඳව සියලු අංශ සහ ආයතන වෙත වසංගත රෝග විද්‍යා අංශයෙන් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

එම විශේෂ මාර්ගෝපදේශ මාලාවට රෝග ලක්ෂණ (සැක කටයුතු රෝගී තත්ත්වයන්), සායනික රෝග විනිශ්චය සහ වර්ගීකරණය, රෝගය බෝ වන ආකාරය, ප්‍රතිකාර සහ රෝග විනිශ්චය, රෝගය පාලනය සහ වැළැක්වීමේ පියවර, පොදු සෞඛ්‍ය පුරුදු, පාසල් සඳහා උපදෙස්, සාම්පල එකතු කිරීම සහ රසායනාගාර පරීක්ෂණ, සායනික කළමනාකරණය, ආයතනික සහ ප්‍රජා මට්ටමේ පාලන පියවර මෙන්ම උත්සව සහ ප්‍රජා රැස්වීම් මාර්ගෝපදේශ ආදී කරුණු ඇතුළත් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙම රෝගය ප්‍රධාන වශයෙන්ම පාසල් දරුවන් අතර ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව නිරීක්ෂණය වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙනවා. 

උණ, හිසරදය සහ වමනය මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වන අතර, මෙනින්ජිටිස් රෝගී තත්ත්වයන් දින 07 ක් ඇතුළත සුව අතට පත් වන බව ද එම අංශය සඳහන් කර තිබෙනවා.

අපවිත්‍ර වූ ජලය, ආහාර සහ දෑත් නිසි ලෙස පිරිසිදු නොකිරීම මඟින් (මළ-මුඛ මාර්ගයෙන්) මෙන්ම, රෝගියකු කැස්ස හෝ කිවිසීමේදී පිට වන බිඳිති (Droplets) මඟින් සහ සමීප ඇසුරෙන් ශ්වසන පද්ධතිය හරහා ද රෝගය බෝ විය හැකියි. 

වෛරසයට නිරාවරණය වී දින 03 සිට 07 දක්වා කාලය තුළ රෝග ලක්ෂණ මතු වන බව ද එහි සඳහන් වනවා.

රෝග පාලනය සහ වැළැක්වීමේ පියවර ලෙස සබන් සහ ජලය යොදා දෑත් හොඳින් සේදීම, කැස්ස හෝ කිවිසීමේදී වැලමිට ඇතුළු පැත්තෙන් හෝ ලේන්සුවකින් / ටිෂූ එකකින් මුඛය සහ නාසය වැසීම, රෝග ලක්ෂණ ඇති අය සමඟ සමීප සබඳතා පැවැත්වීමෙන් වැළකීම සහ නිවෙස් මෙන්ම ගොඩනැගිලි තුළ හොඳින් වාතාශ්‍රය ලැබීමට සැලැස්වීම යන කරුණු වසංගත රෝග විද්‍යා අංශය මඟින් නිකුත් කළ අදාළ මාර්ගෝපදේශ මාලාවේ වැඩිදුරටත් සඳහන් වනවා.