අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීමත් සමඟ, වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, ඉදිරි පැය 24 ක කාලය තුළ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලින් ඇතැම් ස්ථානවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි සඳහන් වන්නේ.
එසේම කළු ඟඟ ද්‍රෝණිය වෙත මේ වන විට ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට, අයගම, ඇලපාත, කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කළු ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශ වලට ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවටද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
මේ හේතුවෙන් පහත්බිම් හරහා වැටී ඇති ඇතැම් මාර්ග ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බැවින්, මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙසට එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.
අදාළ නිවේදනය පහතින්.





