අස්වැසුම ද්විත්ව ගෙවීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අසත්‍ය තොරතුරු පිළිබඳ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.
අප්‍රේල් මාසයේ අස්වැසුම ප්‍රතිලාභ දීමනා සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර ගෙවීම සිය අරමුණ වූ බවත්, ඒ අනුව පළමු සහ දෙවන අදියරේ ප්‍රතිලාභීන් සඳහා එම දීමනා අප්‍රේල් 10 දින ලබාදීමට කටයුතු කළ බවත් අදාළ නිවේදනයේ දැක්වෙනවා.
මෙම දීමනාවලට අමතරව, මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් බලපෑමට ලක් වූ ජනතාවට සහන සැලසීම සඳහා 'අන්ත දුප්පත්' කාණ්ඩයට රුපියල් 7,500ක් ද, 'දුප්පත්' කාණ්ඩයට රුපියල් 5,000ක් ද, 'අවදානමට ලක් වූ' කාණ්ඩයට රුපියල් 2,500ක් ද වශයෙන් විශේෂ දීමනාවක් ගෙවීමට නියමිතව තිබූ බව ද එහි සඳහන්.
කෙසේ වෙතත්, ඒකාබද්ධ සුබසාධන ප්‍රතිලාභ තොරතුරු පද්ධතිය මඟින් මසකට දෙවරක් ගෙවීම් සිදු කිරීමට තාක්ෂණික අවකාශයක් නොමැති වීම හේතුවෙන්, මෙම විශේෂ අලුත් අවුරුදු සහන දීමනාව පද්ධතියෙන් බාහිරව ගෙවීමට මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, ප්‍රතිලාභී පවුල් ලක්ෂ 17ක ලේඛනයක් සකස් කර 'SLIP' ලිපිගොනු මඟින් ලංකා බැංකුව වෙත යොමු කිරීමේදී, සිදු වූ අතපසුවීමකින් එක් ලිපිගොනුවක් දෙවරක් උඩුගත වී ඇති බවයි මණ්ඩලය පවසන්නේ.
එහිදී දුප්පත් ප්‍රතිලාභී කාණ්ඩයේ පිරිසකට ද්විත්ව ගෙවීමක් සිදු වී ඇති බව අනාවරණය වීමත් සමඟ අදාළ ගෙවීම් වහාම අත්හිටුවීමට මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.
එම ද්විත්ව ගෙවීම් අත්හිටුවීමට පෙර මුදල් ලබා ගත් ප්‍රතිලාභීන් 49,759 දෙනෙකුගෙන් අය කරගත යුතු රුපියල් 248,795,000ක මුදල, මැයි මාසයේ අස්වැසුම දීමනාවෙන් අය කර ගැනීමට මේ වන විට සැලසුම් කර තිබෙනවා.
මෙම ක්ෂණික ක්‍රියාමාර්ග හේතුවෙන් රජයට කිසිදු මූල්‍ය පාඩුවක් හෝ අක්‍රමිකතාවක් සිදු වී නොමැති බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ.
අදාළ නිවේදනය පහතින්.





