බුද්ධ චීවරය අවභාවිතා කරමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ යෙදුණු භික්ෂු ප්‍රතිරූපකයන් පිරිසක් විසින් සිදු කරන ලද ශාසන විරෝධී හා නීතිවිරෝධී ක්‍රියාව තරයේ හෙළා දකිමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ලාංකේය සමාජය තුළ භික්ෂූන් වහන්සේ නමකට උරුමව ඇති සාම්ප්‍රදායික ගෞරවය හා පිළිගැනීමත්, උතුම් වූ බුද්ධ චීවරය පිළිබඳ බෞද්ධයන් තුළ පවතින ශුද්ධ වූ විශ්වාසයත් අවභාවිතා කරමින් සිදු කළ මෙම නීතිවිරෝධී ක්‍රියාවට සම්බන්ධ සියලු භික්ෂු ප්‍රතිරූපකයන්ට නිසි දඬුවම් ලබා දීමට කටයුතු කළ යුතු බවයි මහානායක හිමිවරුන් අවධාරණය කරන්නේ.
ශාසනික අනන්‍යතාව අවභාවිතා කරමින් මෙවැනි නීතිවිරෝධී කටයුතුවල නිරත වන භික්ෂු ප්‍රතිරූපකයන් පිළිබඳ ඉදිරියේදී කරුණු විභාග කොට සසුනෙන් නෙරපීමට නිසි යාන්ත්‍රණයක් සකස් කිරීමේ අවශ්‍යතාවයද අදාළ නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා.
ඒ සඳහා, අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සම්පාදනය කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය කඩිනමින් මැදිහත් වීම අත්‍යවශ්‍ය බවයි මහානායක හිමිවරුන් අවධාරණය කරන්නේ.
අදාළ නිකාය පාර්ශ්වයන් මඟින් ඉදිරියේදී මෙම ශාසන විරෝධී මෙන්ම නීතිවිරෝධී කටයුත්තට සම්බන්ධ සියලු භික්ෂු ප්‍රතිරූපකයන් සම්බන්ධයෙන් කරුණු සොයා බලා, ඔවුන් ශාසනයෙන් නෙරපීමට කටයුතු කරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
එම නිවේදනය පහතින්.




