අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක හෙවත් ‘හරක් කටා’ නමැත්තාට ඉන් පලායාමට ආධාර අනුබල දුන් බවට අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසු වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ හිටපු කොස්තාපල්වරයෙකු වන රවිදු සන්ධීප නමැත්තා නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව මෙම නඩුව අද (22) මෝසමක් මාර්ගයෙන් කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ කැඳවා ඇති අතර, එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සජිත් බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම විත්තිකරුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝග අවසන් වී ඇති බවත්, ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 15(2) වගන්තිය ප්‍රකාරව, මෙම විත්තිකරු නඩුව අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා තිබෙනවා.
එම ඉල්ලීමට විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විරෝධය පළ කර ඇති බවයි සඳහන් වෙන්නේ.
නමුත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරු නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති අතර, මෙම නඩුව යළි ලබන 28 වැනිදා කැඳවීමට නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.