ශ්‍රී ජයවර්ධනපුර රෝහල දිගින් දිගටම අලාභ ලබන තත්ත්වයේ පවතින බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලට අදාළව 2022 - 2023 විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට COPE කමිටුව විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ බව අනාවරණය වී ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙසේ අලාභ ලැබීමට හේතු ගණනාවක් පවතින බවත්, මෙහිදී ඇතැම් රෝගීන් රෝහල්ගත වී ප්‍රතිකාර ලබා ගත්තද ඊට අදාළ ගෙවීම් සිදුකොට නොමැති බව නිරීක්ෂණය වන බවත්, ඇතැම් රෝගීන්ගෙන් අය කරගත යුතු මුදල් කපා හැර ඇති බවත් කෝප් කමිටුව පෙන්වා දී ඇති බවයි සඳහන් වෙන්නේ.
එසේම විශේෂඥ සේවා පවත්වාගෙන ගිය ද, එමගින් ප්‍රමාණවත් ආදායමක් රෝහලට ලැබී නොමැති බවද දැක්වෙනවා.
කඩිනමින් මෙම අවිධිමත් තත්ත්වයන් මග හරවා ගැනීමට අවශ්‍ය ක්‍රමවේද සකස් කරන ලෙසට කෝප් කමිටුව විසින් නිර්දේශ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.