අගමැතිනි හරිනි අමරසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු දේශපාලනඥයන්ට එල්ල විය හැකි ජීවිත තර්ජන සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණ පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (20) පැහැදිළි කිරීමක් සිදුකළා.
ඒ අනුව අගමැතිනි හරිනි අමරසූරියට මරණ තර්ජන ඇතුළත් ඊමේල් ලිපියක් අගමැති කාර්යාලයට ලැබී ඇති බවත්, ඒ අනුව ඒ සම්බන්ධයෙන් අගමැති කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකු පැමිණිල්ලක් ගොනු කර ඇති බවත්, ඊමේල් ලිපිය සම්බන්ධයෙන් Google ආයතනයෙන් වාර්තාවක් ඉල්ලා සිටි බවත්, එම වාර්තාව ලැබී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
ඒ අනුව, එම තර්ජනාත්මක ඊමේල් ලිපියෙහි IP ලිපිනය නෙදර්ලන්තය සහ ජර්මනිය සමඟ සම්බන්ධ වී ඇති බව සොයාගෙන ඇති බවද, ඒ සම්බන්ධයෙන් වන වාර්තාව ලැබුණු විගස අධිකරණයට කරුණු ඉදිරිපත් කරන බවද ඔහු ප්‍රකාශ කළා.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ජීවිතයට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් ද මහජන ආරක්ෂක අමාත්‍යවරයා හෙළි කළ අතර, 2024 අගෝස්තු මාසයේදී අමාත්‍යාංශයේ හදිසි දුරකථන අංකය හරහා පැමිණිල්ලක් ලැබුණු බවත්, පාතාල නායකයෙකු වන ‘ලොකු පැටී’ ගේ සහචරයෙකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉලක්ක කර ගනිමින් ස්නයිපර් ප්‍රහාරයක් සඳහා සැලසුම් කර ඇති බවට එම පැමිණිල්ලේ සඳහන් වූ බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
ඒ අනුව එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර ඇති බවත්, අදාළ තොරතුරු සපයන්නා විසින් ඉදිරිපත් කරන ලද කරුණු අසත්‍ය බව සොයාගෙන තිබෙන බවත්, එම පැමිණිල්ල සිදුකළ ජංගම දුරකථන අංකය පිළිබඳව ද පරීක්ෂණයක් පවත්වා තිබෙන බවත්, පැමිණිල්ලට අදාළ කරුණු අසත්‍ය බව ඔප්පු වී තිබෙන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල වැඩිදුරටත් සඳහන් කළේ.