බලය ලබා ගැනීම වෙනුවෙන් උතුරේත් දකුණේත් යළි ජාතිවාදය හිස ඔසවා ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
අප අතර ජීවත්විය යුතුව තිබූ විශාල පිරිසක් යුද්ධය වෙනුවෙන් සිය ජීවිතය පරිත්‍යාග කළ බවත්, ඔවුන්ගේ දෙමව්පියන් හා ඥාතීන්ද මේ වෙනුවෙන් විශාල කැපකිරීමක් සිදුකර ඇති බවත්, ජාතියක් ලෙස අප සියලු දෙනාම ඔවුන්ව අනුස්මරණය කළ බවයි අද (19) රණවිරු සැමරුම් දිනය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.
යුද්ධය යනු විශාල ඛේදවාචකයක් හා විනාශයක් බවද, සටන් කරන ලද කිසිවෙක් යුධ වැදුනේ යුද්ධ අපේක්ෂාවෙන් නොවන බවද, ඔවුන් සියලු දෙනාම යුද්ධ කරන ලද්දේ සාමය අපේක්ෂාවෙන් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
අප මව්බිම, උතුර - දකුණ භේදයකින් තොරව යුද්ධයේ ඛේදවාචකයේ නටබුන් විශාල ප්‍රමාණයකින් ගොඩනැගී ඇති බවත්, දකුණේ මෙන්ම උතුරේද යුද්ධයෙන් මියගිය සිය ඥාතීන් අදටත් තමන්ගේ ස්වාමියාගේ, දරුවාගේ ඡායාරූපයක් තබා ගනිමින් විලාප දෙන බවත්, අපගේ වගකීම වන්නේ රට තුළ යළි මෙවැනි යුද්ධයක් ඇතිවීමට ඉඩ ලබානොදීම බවයි ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ.
අපගේ පරම්පරාව යුද්ධ කර ඇති බවත්, අපගේ පරම්පරාවට සැකය, කෝපය, වෛරය ඇතිවී ඇති බවත්, නමුත් අපගේ දරුවන්ගේ පරම්පරාවට යුද්ධ නොකරන රටක් හා සැකය, කෝපය, වෛරය වෙනුවට සහෝදරත්වයේ බැඳීම, ආදරය, ප්‍රේමය තිබෙන රටක් නිර්මාණය කළ යුතු බවත් ජනාධිපතිවරයා පැවසුවා.
නමුත් විටින් විට බලය ලබා ගැනීම, බලය ආරක්ෂා කර ගැනීම හා බලය තර කර ගැනීම වෙනුවෙන් යුද්ධය, ගැටුම්, ජාතිවාදය උපයෝගී කරගෙන ඇති බවත්, ගෝරනාඩුවලට බිය නොවී සාමය සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.
උතුරේත් දකුණේත් බලය වෙනුවෙන් ජාතිවාදය නැවත කරළියට පැමිණ ඇති බවද, යුද්ධය අවසන් වුවද, මාතෘ භූමියට පූර්ණ වශයෙන් නිදහස අත්පත් කර ගැනීමට තවමත් හැකියාව ලැබී නොමැති බවද, ගැටුම් නොමැති, අවිශ්වාසය නොමැති, වෛරය නොමැති රටක් නිර්මාණය කිරීම තුළින් පූර්ණ නිදහස අත්පත් කරගත හැකි බවද ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කර සිටියා.