දශක තුනකට අධික කාලයක් මෙරට පැවති LTTE ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 16 ක් සපිරෙනවා.
1975 ජූලි 27 වනදා එවක යාපනයේ නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ඝාතනයෙන් ඇරඹි LTTE ත්‍රස්තවාදය, 1983 දී හමුදා සෙබළුන් 13 දෙනෙකු ඝාතනය කිරීමත් සමඟ රටපුරා කළු ජූලියක් ඇතිකර ඉන්පසු 30 වසරක් පුරා මෙරට ආගමික නායකයින්, රාජ්‍ය නායකයින්, දේශපාලඥයින්, රණවිරුවන් පමණක් නොව සිවිල් වැසියන්ද දසදහස් ගණනක් ඝාතනය කරමින් ලොව ප්‍රබලම ත්‍රස්තවාදී සංවිධානය බවට පත්වුණා.
අනතුරුව 2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු නායකයින් මියයාමත් සමග පුරා වසර 30ක් රටම වෙළාගත් LTTE ත්‍රස්තවාදය මෙරටින් සහමුලින්ම අවසන් කිරීමට ත්‍රිවිධ හමුදා රණවිරුවන් සමත් වුණා.
යුධ ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් “ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය” හෙට (19) දිනයේ පැවැත්වීමට නියමිතව ඇති අතර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පස්වරු 4 සිට 6 දක්වා මෙම සැමරුම් උත්සවය නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකරගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.