අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවා තිබෙනවා.
ඒ අනුව අද (16) පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකරු ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී, එම පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුමක මුදල් කල්පිරීමට පෙර ඉවත්කර ගැනීම තුළින් රජයට රුපියල් ලක්ෂ 176 කට අධික පාඩුවක් සිදුකර ඇතැයි සඳහන් කරමින් මෙම නඩුකරය ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කර තිබෙනවා.
ඉන්පසුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මේ ආකාරයෙන් පළාත් සභාවල පවතින ස්ථාවර තැන්පතු කල් පිරීමට පෙර ඉවත් කරගැනීම සඳහා 2015 වසරේ තමා අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ භාණ්ඩාගාරය මගින් චක්‍රලේඛයක් නිකුත් කර තිබූ බවත්, එම චක්‍රලේඛයට අනුව චාමර සම්පත් දසනායක විසින් කළ ක්‍රියාව නීති විරෝධී එකක් නොවන බවත් සඳහන් කර තිබුණු බවට සඳහන් කර තිබෙන බව නිලධාරිනිය සඳහන් කළා.
අදාල චක්‍රලේඛය 2016 වසරේ නොවැම්බර් මස 22 වනදා නිකුත් කර ඇති බවත් චාමර සම්පත් දසනායක විසින් අදාළ මුදල් ඉවත් කරගැනීම සිදුකර තිබුණේ 2016 වසරේ පෙබරවාරි මස 29 වනදා බවයි එම නිලධාරිනිය වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
ඒ අනුව සැකකාර චාමර සම්පත් මහතා විසින් අදාළ මුදල් ඉවත් කරගන්නා අවස්ථාව වනවිට රනිල් වික්‍රමසිංහ සඳහන් කරන ආකාරයේ චක්‍රලේඛයක් නොතිබූ බවත් මෙම කරුණට අදාළව අල්ලස් කොමිසම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැඳවා ප්‍රකාශයක් සටහන් කරගත් බවත් එහිදී වික්‍රමසිංහ අදාල චක්‍රලේඛය නිකුත් කළ දින වකවානු පිළිබඳව දැනුවත්වීමකින් තොරව මාධ්‍ය වෙත මෙම ප්‍රකාශය සිදුකර ඇති බවට කරුණු අනාවරණය වූ බවත් එම නිලධාරිනිය සඳහන් කර තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයා විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සිදුකළ මෙම ක්‍රියාව තුළින් අල්ලස් කොමිසමේ විමර්ශන කටයුතුවලට බලපෑම් සිදුවී ඇති බවත් සැකකාර චාමර සම්පත්ගේ බිරිඳගේ ඉල්ලීම මත මෙම මාධ්‍ය සාකච්ඡාව තමා පැවැත්වූ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇති බවත් ඒ අනුව සැකකාර චාමර සම්පත් දසනායක විමර්ශනවලට බාධා කිරීමක් සිදුකරන බැවින් ඔහුගේ ඇප අවලංගු කොට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිට ඇති බවයි සඳහන් වෙන්නේ.
ඒ අනුව මෙම ඉල්ලීම අද දහවල් සලකා බැලීමටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.