පළාත් පාලන මැතිවරණය හෙට (06) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හෙට (06) පෙරවරු 7.00 සිට පස්වරු 04.00 දක්වා, දිවයින පුරා මධ්‍යස්ථාන 13,759කදී පැවැත්වීමට නියමිතයි.
පළාත් පාලන ආයතන 339ක් සඳහා පැවැත්වෙන ඡන්ද විමසීමේ දී ඡන්ද හිමියන් 17,156,338 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට මෙවර සුදුසුකම් ලබා තිබෙන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.
ඡන්දය ප්‍රකාශ කිරීමේදී සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පූජ්‍ය/පූජක හැඳුනුම්පත, ජාතික හැඳුනුම්පතේ තොරතුරු තහවුරු කිරීමේ ලිපිය, මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත, ආබාධිත තැනැත්තන්ට නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත යන ලේඛනවලින් එකක් භාවිතා කර, සිය අනන්‍යතාව තහවුරු කර ඡන්දය භාවිතා කිරීමේ හැකියාව පවතිනවා.
මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණ ද, ලියාපදිංචි සෑම ඡන්ද දායකයෙකුටම ඡන්දය භාවිත කිරීමට අවස්ථාව හිමිවන බවත්, ඒ සඳහා තමන්ට අයත් ඡන්ද මධ්‍යස්ථානයට ගොස්, වලංගු ආකාරයේ අනන්‍යතාව තහවුරු කිරීමේ ලේඛණයක් ඉදිරිපත් කර, ඡන්දය භාවිතා කළ හැකි බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.
මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය භාවිතා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැහැදිළි කිරීමක් සිදුකර තිබෙන අතර, ඒ අනුව, පළමුවෙන්ම ඇති කොටුවේ ඇත්තේ දේශපාලන පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ නම බවත්, දෙවනුවට ඇති කොටුවේ අදාළ පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ සලකුණ සටහන් කර ඇති බවත්, එයට ඉදිරියෙන් ඇති හිස් කොටුවේ එක් කතිරයක් යෙදීමෙන් තමන්ගේ ඡන්දය සටහන් කළ හැකි බවත් ඔහු පවසා සිටියා.
එක් කතිරයකට වඩා යොදා තිබුණහොත් හෝ වෙනත් සලකුණු යොදා තිබුණහොත් අදාළ ඡන්දය ප්‍රතික්ෂේපිත ඡන්දයක් ලෙස සටහන් වන බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.