සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි 23 හැවිරිදි චරිත් දිල්ශාන්ගේ මරණය සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව චරිත් දිල්ශාන් සොයුරාගේ හදිසි අභාවය පිළිබඳව බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කළේ.
මරණයට හේතුව නවක වධ සිදුවීමක් බවට වූ චෝදනාවක් ඇති බැවින්, මේ පිළිබඳව පටු න්‍යාය පත්‍රවලින් තොරවූ පූර්ණ අපක්ෂපාතී විමර්ශනයක් පවත්වන ලෙස ද, චෝදනා සත්‍ය නම් විත්තිකරුවන්ට දඬුවම් පමුණුවන ලෙස සිය ශිෂ්‍ය සංගමය ඉල්ලා සිටින බව ද, අදාළ විමර්ශන සඳහා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පූර්ණ සහයෝගය ලබා දෙන බවද එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.
නවක වධය වැනි පසුගාමීත්වයන්ගේ පැවතීම විසින් පරාජයන් විනා ශිෂ්‍ය ව්‍යාපාරයට අත්කර දුන් ජයග්‍රහණ කිසිවක් නොමැති බවත්, විශේෂයෙන්ම මෙවැනි සිදුවීම් ප්‍රබල තර්කයන් බවට පත් කර ගනිමින් පාලකයින් අධ්‍යාපන පෞද්ගලීකරණයට අදාළ තර්ක තහවුරු කරගැනීමට කටයුතු කරන අතර දැවැන්ත ප්‍රචාරක ව්‍යාපෘති බවට පත්කර ගන්නා බවත්, එබැවින් නවක වධය වැනි සංස්කෘතික පසුගාමීකම් සමඟ ශිෂ්‍ය ව්‍යාපාරයට කිසිඳු සම්මුතියක් නැති බවයි ඔවුන් අවධාරණය කරන්නේ.
එසේම පවතින පසුගාමී සංස්කෘතික ශේෂයන් විශ්ව විද්‍යාලවලින් තුරන් කිරීමට මැදිහත්වන ලෙස සියලු විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ගෙන් ඉල්ලා සිටින බවයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
අදාළ නිවේදනය පහතින්.